මේකප් නැතුව ලස්සනට ඉන්න පහසුම ක්‍රම 10 ක්

මේකප් නැතුව ලස්සනට ඉන්න පහසුම ක්‍රම 10 ක්

0 59

 

ස්වභාවික ලස්සනට හැමෝම කැමතියි. අද ගොඩක් කාන්තාවෝ ස්වභාවික පෙනුමක් එන විධියට මේකප් කරන්න අධික මිළ ගණන්වලින් යුතු මේකප් බඩු මිළදී අරගෙන එක එක දේවල් කරනවා. අද කියන්න යන්නේ මේකප් නැතුව කොහොමද ස්වභාවික ලස්සනට ඉන්නේ කියල. පහත තියන දේවල් අනුගමනය කළොත් ඔබට මේකප් නැතුවම ස්වභාවික සුන්දරත්වයක් ලබා ගන්න පුළුවන් වේවි.

 


01). ඔබේ ඇහි බැම ලස්සන හා ගැළපෙන විධියට සකසා ගන්න.

මේකප් නැති මුහුණක ඇහි බැම නිරායාසයෙන්ම අවධානය යොමු වෙනවා. ඒ නිසා මේකප් නැතුව ලස්සනට ඉන්න නම් ඔබේ ඇහි බැම ලස්සනට හදා ගන්න ඕන. හැබැයි ලස්සනට කියල ඔබේ මුහුණට නොගැළපෙන විධියට හදල නම් හරියන්නේ නැහැ. සැලෝන් එකකින් හරි ඒ පිළිබඳ දන්නා කෙනෙක්ගෙන් හරි උපදෙස් අරන් ඔබේ මුහුණට ගැළපෙන විධියට ඇහි බැම සකසා ගන්න ඕන. මොකද එක එක්කෙනාගේ මුහුණේ හැඩයට අනුව ඇහි බැමේ හැඩයත් වෙනස් විය යුතුයි. අවශ්‍ය නම් විතරක් ඔබට ඔබේ ඇහි බැම වර්ණ ගැන්වීමත් කරන්න පුළුවන්. ඔබ ඇහි බැම වර්ණ ගන්වනවා නම් එම වර්ණයත් ඔබේ කොණ්ඩයට ගැළපෙන ලෙස තෝරා ගන්න වග බලා ගන්න ඕන. ඔබේ ඇහි බැම ගනකමින් අඩු ඇහි බැමක් නම් ඒකටත් ඔබට පිළියමක් තියනවා. එඬරු තෙල් සහ විටමින් A මිශ්‍ර කර දිනපතාම ඔබේ ඇහි බැමේ ආලේප කර තරමක් සම්බාහනය කරොත් ඔබට ලස්සන ඇහි බැමක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මෙසේ කිරීමෙන් ඔබේ දෙනෙත් වලටත් හොඳ සත්කාරයක් ලැබෙනවා.


02). දීප්තිමත් දෑසක් ලබා ගන්න.

දෙනෙත් ලස්සනට තියනවා නම් ඔබේ පෙනුමෙන් භාගයක්ම ලස්සනයි. ඒත් මහන්සිය නිසා විඩාබර වන දෙනෙත් දීප්තිමත්ව තබා ගන්න එක හරිම අමාරු වැඩක්. ඒත් මේ ක්‍රම මගින් ඔබට ලස්සන දෑසක් ලබා ගන්න පුළුවන්. ඇහි බැමි කර්ල් කරන උපකරණයක් මගින් ඔබේ ඇහි බැමි හොඳින් කර්ල් කර ගන්න. ඒ වගේම ඇහි බැමි සඳහා භාවිත කරන ජෙල් එකක් හෝ වෙනත් ආලේපනයක් භාවිත කරන්නත් ඔබට පුළුවන්.

ඔබේ ඇස් වටා අඳුරු පැහැ වෙලා නම් ඔබේ පෙනුම අවලස්සන වෙනවා. ඒ නිසා ඇස් වටා අවපැහැ වීම නැති කර ගන්න ඕන. මේ සඳහා මුලින්ම ඔබේ අහාර රටාව පිලිබඳ සැලකිලිමත් වීම වැදගත්. යකඩ හා විටමින් B ඌනතාවය මෙම ඇස් වටා අවපැහැ ගැනීමට හේතුවක් වෙනවා. (පීකුදු සහ රතු පැහැති මස්වල මේවා වැඩි වශයෙන් අඩංගු වෙනවා. ) ඇස් සඳහා අයි ක්‍රීම් එකක් භාවිතා කිරීමත් ඔබට කරන්න පුළුවන්. අයි ක්‍රීම් එකක් තොර ගැනීමේදී රෙටිනොල් (retinol) අඩංගු උසස් වර්ගයේ ක්‍රීම් එකක් තෝරා ගන්න. ඇස් මත සීතල පුළුන් හෝ අයි පෑඩ් තැබීමත් ටී බෑග් තැබීමත් මෙයට ඉතාම හොඳයි. මේ ක්‍රම මගින් ඔබේ දෙනෙත් දීප්තිමත් හා ලස්සන කරගත්තොත් ඔබටත් මේකප් නැතුව ලස්සනට ඉන්න පුළුවන් වේවි.


03). ඔබගේ දත් සුදු කර ගන්න.

ලස්සන හිනාවකින් ඔබේ පෙනුම දෙගුණයක් වැඩි කරනවා. ඒ නිසා ඔබේ දත් සුදට දීප්තිමත්ව තියා ගන්න අමතක කරන්න එපා. ඒ නිසා කෝපි තේ වගේ දේවල් පානය කළාට පස්සේ දත් හොඳින් මදින්න. ඒ වගේමයි දත් සුදු කරන දත් බෙහෙත් (Whitning Tooth Paste) එකක් පාවිච්චි කරන්නත් ඔබට පුළුවන්. එහෙම නැතිනම් ස්වභාවිකව දත් සුදු කරන ක්‍රම අනුගමනය කරන්නත් ඔබට පුළුවන්. මෙයින් ඔබේ පෙනුම තවත් ලස්සන වේවි.


04). ඔබගේ තොල් පිළිබඳවත් සැලකිලිමත් වෙන්න.

පෝෂණය, මොයිස්චරයිස් කිරීම, මැරුණු සම ඉවත් කිරීම ආදි මේ දේවල් ඔබේ මුහුණට විතරක් අදාළ දේවල් නෙවෙයි. මේ දේවල් ඔබේ තොල්වලටත් අදාළයි. ඒ නිසා ඔබේ තොල් වලටත් අවශ්‍ය පෝෂණය හා සත්කාර ලබා දෙන්න. මේ සඳහා ඔබට හොඳ ලිප් බාම් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වෙනුවට ඔබට රාත්‍රියට මී පැණි හෝ ඔලිව් ඔයිල් ආදියත් භාවිත කරන්න පුළුවන්. ඒ වගේම සතියකට සැරයක් පමණ ඔබේ දත් බුරුසුවෙන් හෝ ඇඟිලි වලින් හෝ ඔබගේ තොල් සම්බාහනය කිරීමත් කරන්න පුළුවන්. මේ සඳහා ඔලිව් ඔයිල් ස්වල්පයකට සීනි ටිකක් එකතු කර එය තොල් වල ආලේප කර එයින් සම්බාහනය කිරීමත් කරන්න පුළුවන්. මෙයින් ඔබේ තොල්වල මැරුණු සෛල ඉවත් වී තොල් ලස්සන වේ.


05). ඔබේ හිසකෙස් පිලිබඳ සැලකිලිමත් වෙන්න.

පරණ කොන්ඩ විලාසිතාව හා කොන්ඩ වර්ණය ඔබේ මේකප් නැති මුහුණට ගැළපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබේ මුහුණට ගැළපෙන සරල මෝස්තරයකට කොණ්ඩය කපා ගන්න. කොණ්ඩයට අවශ්‍ය පෝෂණය ලබා දෙන්නත් මතක තබා ගන්න. හිසකෙස් අග පැලී ඇත්නම් ඒවා කපන්න මතක තබා ගන්න. ඒ වගේම අනවශ්‍ය විලාසිතා ඔබේ ස්වභාවික පෙනුම නැති කරන්න පුළුවන්. ඒ නිසා ගැළපෙන, කොණ්ඩයට හිතකර විලාසිතා පමණක් කරන්න. ඒ වගේම පොල්තෙල් කියන්නේ කොණ්ඩයට මනා පෝෂණයක් දෙන, ඉස්හොරි නැති කරන මෙන්ම කොණ්ඩයට දීප්තියක් දෙන තෙල් වර්ගයක්. සතියකට වරක්වත් තෙල් සාත්තුවක් කර කොණ්ඩයට පෝෂණයක් දෙන්න පුළුවන් නම් ඔබට වඩා නිරෝගී කෙස් කළඹක් ලබා ගන්න පුළුවන් වෙයි. එය ඔබගේ පෙනුම තවත් වැඩි කරයි.


06). සන් ක්‍රීම් භාවිතා කරන්න

හිරු එළිය නිසා ඔබේ සමට ඔබ නොදැනුවත්වම ලොකු හානියක් සිද්ධ වෙනවා. සමේ අඳුරු පැල්ලම් ඇති වීමටත්, සම පිළිස්සීමටත්, සමේ පිළිකා ඇති වීමටත් මෙය හේතු වනවා. වර්තමානයේ පවතින පරිසර දුෂණය නිසා හිරු එළියත් සමග ඔබේ සමට වැටෙන අහිතකර කිරණ ඔබේ පෙනුම අවලස්සන කරනවා. ඒ නිසා SPF සහිත සන් ක්‍රීම් එකක් භාවිත කිරීම අත්‍යවශ්‍යයි. ඔබ එළියට යන සෑම වෙලාවකමත්, විශේෂයෙන්ම ඔබ මුහුදු වෙරළට යන වෙලාවටත් සන් ක්‍රීම් භාවිත කරන්න අමතක කරන්න එපා. එයින් ඔබේ පෙනුම ආරක්ෂා වේවි.


07). ඔබේ සමට වැඩි අවධානයක් දෙන්න.

සම පිළිබඳ විද්වතුන්ගේ මතයට අනුව දිනකට මුහුණ සේදිය යුත්තේ දෙවරක් පමණි. ඒ උදැසන අවදි වූ පසු හා රාත්‍රී නින්දට යාමට පෙරයි. උදෑසන මුහුණ සේදීමේදී ඔබට ෆේස් වොෂ්, ක්ලේන්සින් මිලක් හා අයිස් කියුබ් භාවිතා කරන්න පුළුවන්. මෙහිදී ඔබේ මුහුණට හානි වන ලෙස මුහුණ ඇතිල්ලීමෙන් වැළකි සිටීම ඉතා වැදගත් වේ. ඒමෙන්ම සතියකට වරක් පමණ මුහුණට පැක් එකක් භාවිතා කිරීමෙන් මුහුණට අමතර පෝෂණයක් ලබා දිය හැක. එමෙන්ම ඔබට ඇත්තේ සංවේදී සමක් නෙවෙයි නම් ස්ක්‍රබ් එකක් භාවිත කිරීමත් කරන්න පුළුවන්. මෙයින් ඔබේ සම නීරෝගී වී සුන්දර වේවි. එවිට ඔබට කිසි දිනෙක මේකප් භාවිතා කිරීමට අවශ්‍ය වන එකක් නැහැ.


08). ප්‍රමාණවත් නින්දක් ලබා ගන්න.

නීරෝගීව ඉන්න නම් දිනකට පැය 7-9 ත් අතර නින්දක් ලබා ගැනීම ඉතාම වැදගත්. ඔබගේ සම නිරෝගීව තබා ගන්න මෙය ඉතාමත් වැදගත් වෙනවා. රාත්‍රී 11 න් පසු නින්දට යාම ඉතාම වැදගත්. මොකද මධ්‍යම රාත්‍රීයේදී තමයි සමේ සුන්දරත්වය වැඩි කරන මෙලටෝනින් (Melatonin) නම් හෝර්මෝනය නිපදවන්නේ. මෙලෙස ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීමෙන් ඔබගේ මුහුණේ විඩාබර ගතිය නැති වී ප්‍රාණවත් පෙනුමක් ලැබේ.


09). ඔබේ ආහාර පිළිබඳ නැවත සිතන්න.

පර්යේෂණ අනුව අප ගන්නා ආහාර හා අපේ සුන්දරත්වය අතර ඍජු සම්බන්ධයක් ඇති බව තහවුරු වී ඇත. නැවුම් එළවලු පලතුරු, ධාන්‍ය හා මාළු වර්ග ආදිය රූපය වැඩි කිරීමට ඉතා වැදගත් අහාර බව සොයාගෙන ඇත. එමෙන් ම විටමින් E අඩංගු ආහාර හා කිරි ආදියත් ඔබේ සම නිරෝගිව තබා ගැනීමට ඉතාම වැදගත්. ඒ වගේම අධික තෙල් සහිත ආහාර, කෘතීම වර්ණක හා රසායනයන් යෙදු ආහාර, ඌශ්න අධික ආහාර ආදිය ගැනීම හැකි තාක් අඩු කළ යුතුයි. එමෙන්ම වැඩිපුර ජලය පානයත් ඔබේ රුව වැඩි කරන තවත් උපක්‍රමයක්. මේ දේවල් අනුගමනය කරලා ඔබේ කෑම ගැන සැලකිලිමත් වුණොත් ඔබට මේකප් භාවිත කරනවාටත් වඩා ලස්සනට ඉන්න පුළුවන් වේවි.


10). ඔබට අවේනික වර්ණය හඳුනා ගන්න

ඔබේ සමට ගැළපෙන වර්ණයෙන් ඇඳුම් තෝරා ගැනීමත් ඔබේ පෙනුම වැඩි කරන තවත් එක් උපක්‍රමයක්. මේකප් නැති විට ඔබේ සම තරමක් සුදු මැලි හෝ අඳුරු ලෙස දිස් වෙන්න පුළුවන් ඒ නිසා ඔබේ සමට ගැළපෙන වර්ණයෙන් ඇඳුම් තෝරා ගැනීමට වග බලා ගන්න. ඔබේ සමේ ඇති අඩුපාඩුත් මැකෙන ලෙස ඇඳුම් තෝරා ගන්න. කළු හෝ වඩාත් අඳුරු පැහැති ඇඳුම් තෝරා ගැනීමෙන් වලකින්න. සුදු පැහැය වුවද ඇතැම් අයට ගැළපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා නිල්, පීච් හා ලා පැහැති ඇඳුම් තෝරා ගන්න.


මේ විධියට ඉහත ක්‍රම දහය අනුගමනය කළොත් ඔබට සුන්දර වෙන්න විතරක් නෙවෙයි නිරෝගීව ඉන්නත් පුළුවන්. මේ හැමදේම හරියට ම කළොත් ඔබට කවදාවත් මේකප් පාවිච්චි කරන්න ඕන වෙන එකක් නැහැ.

 

උපුටාගැනීම

http://sinhala.goodhousekeeping.lk/2017/04/12/10-tips-how-to-become-beautiful-without-makeup/

NO COMMENTS

Leave a Reply