ආහාර සහ කුරුලෑ

ආහාර සහ කුරුලෑ

0 24

අපගේ ශරීරයේ නිරෝගී පැවැත්ම සඳහා ආහාර අත්‍යවශ්‍ය වේ. උදාහරණ වශයෙන් කැල්සියම් සහ විටමින් D අපගේ අස්ථින් සඳහා උපකාර වේ. එසේම සමේ නිරෝගී පැවැත්ම සඳහාද ආහාර අත්‍යවශ්‍ය වේ. සමට සුදුසුම විටමින්, ඛණිජ ලවණ සහ අනෙක් පෝෂක වර්ග කුමක්දැයි සොයා ගැනීමට විවිධ පර්යේෂණ පැවැත්වේ. නමුත් මෙම පර්යේෂණ සුලභ නොවන අතර ඒවායින් ස්ථිර වශයෙන් නිගමනයකට පැමිණීමටද තවමත් පර්යේෂකයන්ට හැකි වී නොමැත.

කෙසේ නමුත් සම යනු බාහිරට පෙනෙන ශරීරයේ ඇති විශාලතම ඉන්ද්‍රියයි. අප ගන්නා ආහාර අනුව එහි ඇති පැහැය,දීප්තිය සහ දද වර්ග වෙනස් වන බව කවුරුත් දනී.මෙහිදී අප කතා කිරීමට බලාපොරොත්තු වන්නේ කුරුලෑ සහ අප ගන්නා ආහාරය පිලිබදවයි.

මීට අවුරුදු 10කට පමණ පෙර සියළුම දෙනාගේම මතය වුයේ අප ගන්නා ආහාර මත කුරුලෑ අඩු හෝ වැඩි වන්නේ නැත කියායි. නමුත් දැන් පර්යේෂණ මගින් සොයාගෙන තිබෙන්නේ මේ දෙක අතර සම්බන්ධයක් ඇති බවයි.

කුරුලෑ වැඩිකරවන ආහාර අතර ප්‍රධාන වශයෙන් මුල්තැන ගන්නේ ශරීරයේ ඉන්සියුලින්(Insulin) නැමැති හෝර්මෝනය එක්වරම අධික වශයෙන් වැඩි කරන ආහාරයි.

උදාහරණ වශයෙන් සීනි අධික ආහාර,පාන්,පේස්ට්‍රි, බනිස් වැනි ආහාර දැක්විය හැක. එසේම කේක්, බිස්කට්, කල්තියා ගැනීමට සැකසු අල තීරු වැනි ආහාරද මේ ගණයට වැටේ. මේ ආහාර ගත්විට ශරීරයේ ඇති insulin නැමැති හෝර්මෝනය ඉතා ඉක්මනින් ඉහල යන අතර එමනිසා ශරීරයේ තෙල් නිපදවන ග්‍රන්ථින්ගේ ක්‍රියාකාරිත්වය වෙනස් වී කුරුලෑ ඇතිවීමේ අවධානම වැඩිවේ.
එසේම කිරි සහ කිරි වලින් සැකසූ ආහාර මගින් කුරුලෑ ඇති අයගේ කුරුලෑ වැඩිකරන බවටද සමහර පර්යේෂකයන් පෙන්වා දී තිබේ. නමුත් මෙහි ඇති සම්බන්ධය නිශ්චිතවම තවම පැහැදිලි නැත. ඔවුන්ගේ මතය වන්නේ කිරි සහිත ආහාරවල ඇති ස්වභාවිකව ඇති හෝර්මෝන මගින් මෙම තත්වය ඇතිවන බවයි.

එසේම ආහාරවල ඇති මේදයද කුරුලෑ වලට බලපාන බවට සාක්ෂි තිබේ. සෑම මේදයම ශරීරයට අහිතකර නැත.ශරීරයට හිතකර සමේ වර්ධනයට අවශ්‍ය මේදය ආහාර මගින් අප ලබා ගත යුතුය. නමුත් කුරුලෑ සහ තෙල් කෑම අතර සම්බන්ධව කෙරෙන පරීක්ෂණ තවමත් නිසි පිළිතුරක් ලබාදී නැත.

කෝපි අධික ලෙස පානය කරන්නන්ගේද කුරුලෑ අධිකව ඇතිවීම් ප්‍රවණතාවයක් ඇති බව පර්යේෂණයන්ගෙන් පෙන්වා දී තිබේ. කෝපි වල ඇති කෝටිසෝල් (cortisol) නම් හෝර්මෝනය මගින් මෙම ක්‍රියාවලිය සිදුකරන බව පෙනේ.

කුරුලෑ ඇති රෝගීන් ආහාර ගත යුතු පිළිවෙල
1. ආහාරයට තන්තු අධික කාබෝහයිඩ්රේට් ආහාර වර්ග එකතු කරගත යුතුය.
උදා :- බත්, ධාන්‍ය සහ ඇට වර්ග

2. ඔබ අධිකව කිරි ආහාරයට ගන්නේ නම්,එම නිසා කුරුලෑ වැඩිවේදැයි දැනගැනීමට, සති දෙකක පමණ කාලයක් එම ආහාර වලින් වැලකී සිටිය හැක. එසේ වෙනසක් වී ඔබට කුරුලෑ අඩුවන බව හැගී ගියහොත් කිරි සහ කිරිවලින් සෑදු ආහාර ගැනීම සීමා කල හැක. එනමුත් ශරීරයට අවශ්‍ය කැල්සියම් වෙනත් ආහාර වලින් සපුරා ගැනීමට වගබලා ගත යුතුය.
3. විටමින් A අඩංගු ආහාර භාවිතය වැඩිකිරීමෙන් සමේ නිරෝගී බව වැඩිවේ. එමනිසා කහපාට එළවළු සහ පළතුරු ආහාරයට ගැනීම වැඩි කල යුතුය.

4. කුඩා ආහාරවේල් ගැනීමට ශරීරයේ ඇති සීනිමට්ටම ස්ථාවරව තබාගැනීමට උදව් වේ. ප්‍රධාන ආහාර වේල් මග නොහැර ඒවා කුඩා ප්‍රමාණයන්ගෙන් ගැනීම සහ අතරමැද නැවුම් පළතුරු ආහාරයට ගැනීමද කල යුතුය.

5. ශරීරයට හිතකර මේදය අඩංගු ආහාර ආහාරයට එකතු කර ගැනීම කල යුතුය.
උදාහරණ වශයෙන් මාළු ආහාරයට ගැනීම වැඩි කිරීම සහ ඌරු මස් වැනි තෙල් අධික ආහාර අඩුකිරීම දැක්විය හැක.පොල් තෙල් වල ද අධික මේදය ප්‍රමාණයක් ඇත. එමනිසා පොල් සහ පොල්තෙල් වලින් සැකසු ආහාර අඩුකළ යුතුය.

6. දිනකට පානය කරන කෝපි කෝප්ප ගණන එකකට හෝ දෙකකට සීමා කරන්න.
මෙම ආහාර සෑම දෙනාටම පොදු වේ. සෑම පුද්ගලයෙක්ම එකිනෙකාගෙන් වෙනස්ය. එක් පුද්ගලයෙක්ට කුරුලෑ ඇතිවන කෑම වර්ගයක් තවත් කෙනෙක්ට එසේ නොකිරීමට ඉඩ ඇත. එමනිසා සෑම දෙනාම තමන්ට ගැලපෙන නොගැලපෙන ආහාර අත්දැකීමෙන් හදුනාගත යුතුය. මේ සඳහා ආහාර සටහන් කරගන්නා දිනපොතක් තබාගෙන ඒ සමග කුරුලෑ අඩු හෝ වැඩිවීම පරික්ෂා කර බැලිය හැක.

උපුටාගැනීම

http://skincenter.lk/

NO COMMENTS

Leave a Reply