ග්ලෝකෝමා පෙනීම උදුරා ගන්නා මාරයා

ග්ලෝකෝමා පෙනීම උදුරා ගන්නා මාරයා

0 55

කිසිම රෝග ලකුණක් ඇති නොවී හට ගන්නා රෝග හරිම භයානකයි. වාසනාවකට වෛද්‍ය විද්‍යාවේ බල මහිමයෙන් එවැනි රෝගත් දැන් හඳුනාගන්න පුළුවන්. එහෙත් රෝගය තිබෙනවාදැයි සොයා බැලීමේ වගකීම ඇත්තේ රෝගය වැලඳීමේ අවදානමක් තිබෙන ඔබ සතුවයි.

අපේ රටේ ජනගහනයෙන් සියයට හයක් ග්ලෝකෝමා රෝගයෙන් පීඩා විඳිනවා. සහෝදරයකුට හෝ සහෝදරියකට රෝගය වැලඳී ඇත්නම් තමන්ට රෝගය වැලඳීමේ ඉඩ සියයට නවයයි.

රෝගය වැලඳීමේ වැඩි ඉඩක් වයස අවුරුදු හතළිහට වැඩිවීමත් සමඟ ඉහළ යනවා. වයස අවුරුදු හතළිහට වැඩිවීමත්, දියවැඩියාවෙන් පීඩා විඳීමත් ග්ලෝකෝමා සඳහා වාර්ෂිකව දෑස් පරික්ෂාකර බැලීමට හේතුවක්.

ග්ලෝකෝමා කියන්නේ අසේ දෘෂ්ටි විතානයට වින කරන රෝගයක්. රෝගය නිසා ඇසේ පීඩනය වැඩිවන අතර ඉන් දෘෂ්්ටි විතානයට හානි සිදු වෙනවා.

පෙනීම බොහෝ දුරට අඩුවනතුරු රෝගය හඳුනා ගත නොහැකි වීම රෝගයේ බරපතළකමයි. අඩු වූ පෙනීම යළි කිසිදු ආකාරයකින් ලබා දෙන්නට බැහැ. කල් ඇතිව රෝගය හඳුනා ගත් විට තවදුරටත් පෙනීම අහිමිවීම වළක්වා ගත හැකියි. එහෙත් ඒ සඳහා ජීවිත කාලය පුරාම ප්‍රතිකාර ගැනීමට සිදු වෙනවා.

ග්ලෝකෝමා දෙආකාරයකින් වැලඳිය හැකියි. එක් වර්ගයකදී නිතර ඇස් දෙකම මත ලප වගේ පෙනෙන්නට ගන්නවා. වටේ නොපෙනී බලන දෙය උමඟක් තුළින් මෙන් දකින්නට ලැබෙනවා.

අනෙක් ග්ලෝකෝමා තත්ත්වයේදී තදබල හිසරදය, ඇස් වේදනාව, වමනය, ඔක්කාරය, බොඳ වී පෙනීම, ආලෝකය වටා තවත් එළි පෙනීම, ඇස් රතුවීම වැනි ලකුණු හට ගත හැකියි. ග්ලෝකෝමා තත්ත්වයෙන් පීඩා විඳින්නන්ගෙන් සියයට පහළොවකට වසර විස්සකදී අඩු වශයෙන් එක් ඇසක පෙනීමවත් අහිමි වෙනවා.

ඇස් දෙකට ආදරය කරන ඔබ වයස අවුරුදු හතළිහේදී හතළිස් ඇඳිරියට කණ්ණාඩි තෝරා ගැනීමට ගිය විට ග්ලෝකෝමා සඳහා පළමු පරීක්ෂාව සිදුකර ගන්න. තමන්ට ග්ලෝකෝමා වැලඳීමේ කිසිදු අවදානමක් නැත්නම් වසර හතරකට වරක් පරික්ෂා කළ යුතුයි.

වයස අවුරුදු 65 ට පසු වසර දෙකකට වරක් පරික්ෂා කිරීම වැදගත් වෙනවා.

උපදෙස් – අක්ෂි ශල්‍ය වෛද්‍ය විශේෂඥ

මුදිතා කුලතුංග

උපුටාගැනීම

http://www.tharunie.lk/wedding/styles/item/2319-

NO COMMENTS

Leave a Reply