ප්‍රේම දඩයම ගැන නොදත් යථාර්තය

ප්‍රේම දඩයම ගැන නොදත් යථාර්තය

0 402

දුටුගැමුණු රජු මිය යන්නේ කෙසේද?රජු නාග කන්‍යාවක් සමග පෙමින් බැඳීම නිසා නාග කන්‍යාවගේ වෙස්මාරු බල බිඳී ඈ මිය යනවා. මිය යන තමුන්ගෙ පෙම්වතිය ගැන උපන් ශෝකය නා රජෙකුගේ වෛරයකට පෙරළෙනවා. කිහිප වරක්ම දුටුගැමුණු රජු මරාදමන්නට කළ උත්සාහයන්ගෙන් ව්‍යවර්ථ වන්නේ ඔහුගේ ප්‍රධාන ජීවක තෙමේගේ ආශ්චර්යයන්ම නිසාවෙනි. අවසානයේ පළමු කොට ජීවකයා මරා දමා, දෙවැනිව හිරු මුදුන් වෙන මහා දහවල රජ මාලිගාවේ සඳළු තළයෙන් සිය රාජ්‍යය දෙස බලන්නට සපැමිණි දුටු ගැමුණු රජුගේ නළලතට වහලයෙහි සිට දෂ්ඨ කර එකී නාගයා මරා දමන්නේ යම් සේද, සිරස ටීවී හී ප්‍රේම දඩයම ටෙලි කතාවද එයට සමාන්තර තේමාවක ගමන් කරයි. එයට වත්මන බොහෝ තරුණ තරුණියන් විහිළු තහළු කළද මෙම සටහන එම උතුම් නිර්මාණයේ ඇති ඔබට මගහැරෙන වටිනා කාරණා ජීවිතයට ළඟා කර දීමටය. නිරවුල් මනසකින් කියවන්න. විචාරය කරන්න.

1. සියළු සත්වයෝ

ප්‍රේම දඩයමේ මේ වෙනකොට ඉන්නව සත්තු ගොඩක්. ඒ සත්තුන්ට මිනිස්සු විහිළු කරනවා. ඒ විහිළු අතරෙ මිනිස්සුන්ට නොතේරෙන දෙයක් තියෙනවා. මනුස්සයෙක් වුනාම වනචරයෙක් විය යුතුයි. ඒ කියන්නෙ වනයේ සරන්නෙකු විය යුතුයි. සල්ලාලයෙකු විය යුතුයි. ඒ කියන්නෙ සියළු සත්ත්වයින්ට ආදරය කරන්නෙකු විය යුතුයි. මේ කාර්යබහුල ජීවිතය තුළ වනයේ සරන්නට තබා තම නිවස තුළවත් ආදරය වපුරන්නට ඉඩක් නැති මිනිසාට සතුන් ලං කරවීම මෙම ටෙලි නාට්‍යයේ මුඛ්‍ය අරමුණයි. ඔබට මේ මොහොත වනතෙක් වත් නොසිතුනාද නාගයින්, මී මැස්සන්, මුගටින්, මොණරුන් වැඩි වශයෙන් මුණගැසෙන්නේ වනාන්තරයේ බව. ඒ නිසාම ඔබ ‍ප්‍රේම දඩයම නැරඹිය යුතුයි. එය විඳිය යුතුයි. සතුන්ට ආදරය කළ යුතුයි.

2. සංක්‍රාන්ති ලිංගිකයන්

ජයේ ඇත්තේ දැඩි පිළිකුළත් මිශ්‍රිත වූ විහිළුදායක හැඟීමක්. පාරක දුටුවද අපුල කොට අපහාසාත්මක ලෙස සිනහසීම වැනි දෑ සංක්‍රාන්ති ලිංගිකයන්ට උරුමයි. මේ ටෙලි කතා මාලාව ඔබ වෙත ගෙනෙන්නේ ඔවුන් වෙනුවෙන්ද වඩා සුබවාදී අරමුණක පිහිටමිනුයි. ඔබට එය නොතේරෙන්නට ඇති. කතාවේ සිටිනවා සෙබඩක්. ඇය පිල් විදහා නටනවා. මිනිසුන් මෙය හාස්‍යයට ලක්කළේ සෙබඩක් පිල්විදහා නටන්නේ කෙලෙසද කියායි. නමුත් ඔබ එයින් තේරුම් ගත යුතු දේ නම් ඒ සංක්‍රාන්ති ලිංගිකයෙකු බවයි. එම නිරූපණය සමාජය මේ වන විට දරණ අපුලජනක මතය මනසින් තුරන් කරන්නට යොදාගත් බලවත් චරිතයක්.

3. ප්‍රේම දඩයම සොයා

මෙහි තේමා ගීතයටද පසුගිය කාලයේ විවිධ වූ කටකතා හැදුනා. ඒ ගීතය හා බැඳුනු මුල් වචන තුළ කියැවෙන කතාව ඔබට නොහැ‍ඟේද? ඒ කියනුයේ වෛරයෙන් වෛරය නොසන්සි‍ඳෙන බවයි. ඔබ ක්‍රෝධයෙන් දඩයම සොයා ගියහොත් ඔබට එය ලැබෙන්නේ නැහැ. නමුත් ඔබ ප්‍රේමයෙන් දඩයම සොයා ගිය හොත් කිකලෙක හෝ ඔබට එය ලැබෙනු ඇති. එවන් උතුම් වූ ධර්මයක් අන්තර්ගත ගීත නිර්මාණයකින්ම සිය ටෙලි වෘතාන්තය ඇරඹීම මෙකල විකාශනය න පුහු අනුකාරක ටෙලි නිර්මාණ කොතරම් ආදර්ශයක් සපයනවාද යන්න සිතා බලන්න.

4. දෙවියන් මිතුරන්

කතාව පුරාවටම නොයෙක් වූ දෙවි දේවතාවුන් හරහා ලබාගන්නා බලයන්, පළිගැනීම් වැනි දෑ සිදු කරනු දැකිය හැක. ඒ සියල්ල ඔබට නොපෙනී වුවද සිදු කරන්නේ දෙවියන් මිතුරු කරගැනීම හරහාය. ඒ නම් මිනිස් ලොවට ආසිරිවාද ගෙනෙන වනිගරත්නයක්ම වූ උත්තමයානන්ගේ ප්‍රචාරණ කටයුත්තකි. එය ගෙඩි පිටින් නොයො‍දා වඩා නිර්මාණාත්මක ලෙස ටෙලි වෘතාන්තයට යොදාගෙන ඇති සැටි බලන්න. එසේම එය සිරසත් දෙරණත් නොහොත්, හිසත් මිහිකතත් සමගාමීවූ තැනක් ලෙස දැක්විය හැකි. මිහිකත පාලනය කරන තිස්තුන් කෝටියක දෙවි දේවතාවුන්ගෙන් ඔබට ආශිර්වාදයක්ම වේවා යන්න හිසේත් මිහිකතේත් පැතුම බවට අපට අනිවා සැක නැත.

5. ඇතැමුන්

එසේම පෙර කී උත්තමයාණන් විශ්වාස කරනා සේම ඔබ විශ්වාස නොකළ යුතු පිරිසක්ද වෙයි. එය මෙකී ප්‍රේම දඩයම නිර්මාණයේ පැහැදිලිව දක්වා ඇත. සියළු දේ සිදු කරන පූජකයින්ට හදිසි ගමනක් යෑමට වාහනයක් මවා ගැනීමට හෝ වෙනත් මායාවකින් එය සිදු කිරීමට නොහැක. සියළු මවා පෑම් කර ලෙඩ සුවකරනා අම්මණ්ඩීන්ට තමන්ගේ කොන්දේ කුදය සුව කරගත නොහැක. ඒ අයුරින් පෙන්වන්නේ ඔබ මේ ලොව සියළු දෙවියන්ගෙත් ඔබේත් අතරමැදියන් යැයි කියාගන්නා පිරිස් අනුගමනය නොකළ යුතු බවයි. ජෑ මා කාලී!

6. නේකඩ් සෝල්

ඔබ යමෙකුට ආදරය කරනවා නම් පළමුවෙන්ම ඔබේ මනස ඔවුන් ඉදිරිපිට නිරුවත් කරන්න. ඔබේ සිරුර නිරුවත් කිරීම දෙවැනුවට තබාගන්න යන වැදගත් කාරණය ප්‍රේම දඩයම තුළින් සපයනවා. උදාහරණයකට ගන්න. නයින්, මොණරුන්, මුගටින් යනාදී කවුරුනුත් තම මවා ගත් පෙණුම තුළදී භෞතිකව කිසිඳු ලක්ෂණයක් පෙන්නුම් නොකළත්, ඔවුන්ගේ ආධ්‍යාත්මය තුළ සැබෑ සත්ත්වයා සිටිනවා. මේ ඔබට පවසන්නේ ඔබ එදිනෙදා මුහුණදෙන පොදු සමාජයට උරුම කාරණාවක්. වඩා වැදගත් වන්නේ නිරුවත් සිරුරක් නොව නිරුවත් මනසක් බව දැන්වත් ප්‍රත්‍යක්ෂ කරගන්න.

‍7. නාගයින්

මෙම ටෙලි වෘතාන්තය අතරතුර සෑම මොහොතකම නයි ගැන කියැවෙනවා. ඒ සියල්ල ජාතික මෙහෙවරක් වෙනුවෙන් බව ඔබ දන්නවාද? ඔබ එය වටහා නොගෙන එයට විහිළු කළේ නම් දැන් දැන්ම ගොස් එම සටහන් මකා දමන්න. මෙය ශ්‍රී ලංකාව බලගැන්වීම වෙනුවෙන් සිදුකළ සිරසේ සුබවාදී තෝරාගැනීමක්. මෙලෙස දිගින් දිගටම නයි ගැන කියද්දී සහ අසද්දී බොහෝ මිනිසුන්ට සිහිනයෙන් නයි පෙනෙන්නට පටන් ගන්නවා. ඔබ අසා ඇති. යමෙකුට නයෙකු පෙනුනොත් ඒ පවුලේ පිරිමි දරුවෙකු උපදින බව. මේ උත්සාහය එලෙස නයින් සිහිනයෙන් පෙන්වා වැඩි වැඩියෙන් පුතුන් උපද්දවා රටේ ශ්‍රම බලකාය ඉහළ දැමීමයි. දැන්වත් ඔබ සිනහසුනේ මහඟු කාර්යයකට බව වැටහෙනවාද?

8. පරම්පරා විරසකය

මේ කතාවෙ ප්‍රධාන නළුවාගේ පියා නොහොත් ශිවන්‍යාගේ දෙමවුපියන් මරා දැමූ පුද්ගලයාගෙන් එක් වැදගත් කරුණක් ගෙනෙන්නට උත්සාහ කරනවා. ඔහුගේ බිරිඳ සාම්ප්‍රදායික ක්‍රමයට අඳින පළඳින කාන්තාවක් වුව ඔහු ඉතා නවීන පන්නයේ ඇඳුම් පැළඳුම් ඇඳ ජැන්ඩියට සිටින පුද්ගලයෙකු බව පෙන්වනවා. මෙයින් පෙන්වන්නේ පරම්පරා විරසකය බිඳිය යුතු බවයි. එය පවුලක් ලෙස ඉදිරියට යන්නට උදවු වනු නියතයි.

9. ආදරයට බේද නෑ

මිනිසුන් ආදරය කරද්දී බොහෝ බාධක දමා ගන්නවා. ඒ අතර තිබූ ප්‍රධානම බාධකයක් වූ ගැහැනිය පිරිමියාට වඩා වයසින් වැඩිමහළු වීම මේ වන විට මගහැරී ගිය කාරණයක්. එසේම ධනය, කේන්දර, මිල මුදල්, අධ්‍යාපනය, පවුල් පසුබිම් වැනි කාරණයන් තිබෙනවා. තවමත් මිනිසුන් නොපිළිගන්නා එහෙත් සමාජයේ යම් පෙරළියක් වෙමින් පවතින කාරණයක් වන්නේ සමකාමීත්වයයි. ප්‍රේම දඩයම හරහා ආදරයේ තවත් මානයක් ගෙනෙනවා. ඒ නම් මිනිසාට හා තිරිසනුන්ටද ආදරය කළ හැකි බවයි. ආදරයට බාධාවන් නැති වග මිනිසා අවබෝධ කරගත යුතුයි. නැතහොත් ප්‍රේම දඩයම උගන්වන දේ සිතට ගත යුතුයි.

NO COMMENTS

Leave a Reply