ඇයි මේ ආදරයයි මේ තරමට හිට් වුනේ? ඒ මෙන්න මේ නිසයි

ඇයි මේ ආදරයයි මේ තරමට හිට් වුනේ? ඒ මෙන්න මේ නිසයි

0 374

මේ ආදරයයි නිසා ඉෂි අම්මයි රමන් බල්හායි ලංකාවේ ප්‍රේක්ෂකයෝ අතරේ කොයි තරම් ජනප්‍රිය වුනාද කියනවා නං, ඉෂිතා ලංකාවට ආපු වෙලාවේ දණ ගහලා වඳින්න බැරි වුනා කියලා දුක් වුණු ගෑල්ලමයි පවා හිටියා. ඇත්තටම මේ නාට්ටියේ හැටියට ඉෂිතාට ප්‍රශ්න පිට ප්‍රශ්න. රමන් බල්හාත් ඉන්නවා අර හත්තිලව්වට ගහපු කලාබරේ වගේ. ඇත්තට අපිටත් දුක හිතෙනවා. දුක හින්දම හෙටත් බලන්න හිතෙනවා. හැබෑට ඇයි මේ තරම් මිනිස්සු මේ ආදරයයි බලන්නේ?

1. ඊට කලින් කියමු බලන්න මොකද්ද මේ ආදර හුටපටේ කියලා

මේ ඉන්දියාවේ “ස්ටාර් ප්ලස්” චැනල් එකේ යන සෝප් ඔපෙරා කියලා කියන පවුලේ කට්ටියටම හදපු රූපවාහිනී මාලා නාටකයක්. අපි මේ ආදරයයි කියලා බැලුවට මේකේ නම Yeh Hai Mohabbatein මේ වෙනකොට ඒක සෑහෙන්න සම්මාන ගාණක් අරන්, සෑහෙන නොමිනේෂන් එකෙමත් ලබාගෙන තියෙන්නේ. ඊටත් වඩා මිනිස්සු අතරේ මේක පුදුම ජනප්‍රියත්වයක් ලබාගෙන තියෙනවා. ඇත්තටම මේකේ ඉන්න අයත් කියනවා Yeh Hai Mohabbatein මේ තරම් ජනප්‍රිය වෙයි කියලා හිතුවෙ නැතිය කියලා.

මේකේ රමන් බල්හා පන්ජාබි. ඉෂිතා කියන්නේ දකුණු ඉන්දියානු දමිළ. සාමාන්‍යයෙන් ඔය වගේ මිශ්‍ර විවාහ ඉන්දියාවේ වෙන්නේ කේස් පිටනේ. ඒ මදිවට රමන්ට කලින් විවාහෙන් දරුවෝ දෙන්නෙකුත් ඉන්නවා. ඉතින් මේ ඔක්කොම දේවල් මේ ආදරයයි නැගලා යන්න පදමට වැ‍ටුනු කුළුබඩු තමයි.

2. එයාලගේ ප්‍රශ්න දිහා බලනකොට අපේ ප්‍රශ්න මොනාද අය්යෝ!

මේ ආදරයයි නාටකයේ වැදගත්ම අංගය මොකක්ද කියලා ඇහුවොත් කියන්න තියෙන්නේ ප්‍රශ්න විසඳන එක තමයි. ඒ තරමට ෂෝක් ඉෂි අම්මටයි රමන් බල්හාටයි ප්‍රශ්න. අඩු තරමින් ඔක්කොම ප්‍රශ්න විසඳගෙන ජොලියේ ඉන්නවා කියලා හිතනකොට මැරිච්ච එකෙක් හරි ප්‍රශ්න අරගෙන එනවා. දැන් ඔය නාට්ටිය ඉවරවෙන විදිය අපිට කලින් කියන්න පුලුවන් මේ වෙනකොට. ඉෂිතායි රමනුයි ප්‍රශ්න ඔක්කොම යන්තම් විසඳගෙන, ප්‍රශ්න දාන්න පුලුවන් කියලා හිතෙන හැම එකාගෙන්ම ඈත් වෙලා ෂෝක් එකට ඉන්නවා. ඔන්න එතකොට එන්න තියෙන වෙලාවට කලින් එන හේලිගේ වල්ගාතරුව ඇවිත් පෘතුවිය සුන්නද්දූලි වෙලා යනවා!

හැබැයි මේ ප්‍රශ්න පිට ප්‍රශ්න නැති වුනු දාට තවදුරටත් මේ ආදරයයි නෑ කියලා කල්පනා වුනාද? අන්න ඒක තමයි රහස. මේ අයගේ ප්‍රශ්න, පවුල් අවුල් දිහා බලනකොට ඇත්තටම අමාරු ජීවිතයක් ගෙවන මනුස්සයෙක්ට ඒක තමන්ගේ ජීවිතෙන් මොහොතකට පළා යන්න අවස්ථාවක් වෙනවා.

3. ඕන ප්‍රශ්නයක් බය නැතුව කතා කරන හැටි බලන්නකෝ!

ඇත්තටම මේ ලෝකේ ජීවත් වෙන දුප්පත් පෝසත්, උස් පහත් ඕනම කෙනෙක් මුහුණ දෙන දෙයක් තමයි ප්‍රශ්න කියන්නේ. හිතන්න එපා සල්ලි තියෙන මිනිහෙක්ට සල්ලි නැති මිනිහෙක්ට තරම් ප්‍රශ්න නෑ කියලා. එකම දේ තමයි ඔබට තියෙන ප්‍රශ්නේ නෙවෙයි අපිට තියෙන්නේ. ඒ ප්‍රශ්න පත්තරේ නෙවෙයි අල්ලපු ගෙදර මිනිහට තියෙන්නේ. හැබැයි අපි ගොඩක් වෙලාවට මේ ප්‍රශ්න දිහා විවෘතව බලන්නෙ නෑ, විවෘතව කතා කරන්නෙ නෑ. ඉතින් අන්තිමට නන්නත්තාර වුනහමත් කා එක්කවත් ප්‍රශ්න කතා කරන්නෙ නැතුව දිවිනසාගන්න යනවා. මේ නිසාම මේ ආදරයයි ගොඩක් දෙනා බලනවා කියන්න පුලුවන්. ඒ කියන්නේ තමන්ගේ ප්‍රශ්න එළිපිට කතා කරන මේ ආදරයයි කථාව හරියට ප්‍රශ්න එක්ක ගැටෙන මනුස්සයෙක්ට භාව විරේචකයක් වගේ. ඒ මනුස්සයටත් හිතෙනවා මටත් තියෙන්නේ මේ ප්‍රශ්නනේ, මටත් මේවා මේ විදියටම විසඳගන්න පුලුවන්නේ කියලා.

4. ලපටි ලවු නැතුව මෝරපු ලව්

අපි අර මුලිනුත් කිව්වනේ මේ ආදරයයි කතාවේ දෙය්යනේ කියලා තියෙන්නේ ප්‍රශ්න විතරයි කියලා. හැබැයි ඊට අමතරව මේක යටින් ගලාගෙන යන ලොකු ආදර කතාවකුත් තියෙනවා. ඒ කියන්නේ මල් ගස් වටේ දුවන සිංදු දෙකයි, කෙල්ලගේ මස්සිනා එක්ක පයිට් දෙකයි ටයිප් එකේ ලව් ස්ටෝරීස් නෙවෙයි. දරු සෙනෙහසත් එක්ක ගලාගෙන යන මුහුකුරා ගියපු කපල් එකකගේ සීරියස් ලව් එකක් මේකේ තියෙනවා. දැන් ඔය රමන් බල්හා කියන හාදයා ඉස්සර හෙන සීරියස් බුවාලුනේ. රාස්සයො කන පරාස්සයා මූඩ් එක අතෑරලා අඩු ගානේ දත් පේන්න හිනාවෙන්නෙවත් නෑලු. හැබැයි ඉෂිතා බැන්දට පස්සෙ මනුස්සයා පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වෙන්න ගත්තලු. අර ඕල්ඩ් ස්කූල් රොමෑන්ටික් ටයිප් සීරියස් පොරක් කෙල්ලෙක් හින්දා චුට්ට චුට්ට සොෆ්ට් වෙන්න ගන්න එක සති දෙකතුනක් බලාගෙන ඉන්නකොට අපේ ඇන්ටිලා කඳුලු වක්කරගෙන නෙවෙයිද ඕක බලන්නෙ දොරේ, අන්න ඒ නිසා මේ ලව් එකට ආසාවට මේ ආදරයයි බලන සෙට් එකකුත් ඉන්නවා.

5. සියලු රස එකම වහලක් යටින්

දැන් මේ ආදරයයි ටෙලි නාටකේ ගත්තහම ලව් සීන් ඕන කට්ටියට ලව් සීන් තියෙනවා. ඒ අස්සේ කඩු ෆයිට් එහෙමත් නැත්තෙ නෑ. කුමන්ත්‍රණ, බෙලි කැපිලි, උදලු දැමිලි, පිහියෙන් ඇනිලි, දිය යටින් ගින්දර ගෙනියවිලි සුපිරියටම තියෙනවා. දරු සෙනෙහස ගැන එහෙමත් බලාගෙන ඉන්න අම්මලට ඇඬෙන්න පෙන්නනවා. එතකොට සැබෑ ආදරේ, පක්ෂපාතීත්වය, තමන්ගේ පවුලට තියෙන ආදරේ වගේ සිත නිවන කතා ටයිප් ආදර්ශත් ඇතිවෙන්න තියෙනවා. ඒ මදිවට දැන් මේකට අධිස්වභාවික දේවල් – ඒ කියන්නේ භූතාත්ම සහ වෙනත් පාර භෞතික විශ්වාසත් එකතු වෙලා තියෙනවා. අපිට පොඩි සැකයක් තියෙනවා වේගයෙන් ජනප්‍රිය වෙන ශිවන්‍යා වගේ ටෙලිඩ්‍රාමා එක්ක ගේම ගහන්න මේ වගේ සීනුත් ඇතුලත් කලාද කියලා. මොකද ඇත්තටම ‘මේ ආදරයයි’ ගලාගෙන ගියපු ආකාරයට, ඒ ටෙලි නාටකයේ ස්වභාවයට මේ අධිස්වභාවික හොල්මන් භූත ආවේශයන් වගේ සීන් මැච් වෙන්නේ නෑ. කොහොම වුනත් සුප් හොද්ද රසවත් කරන්න ඔන්න මලගිය ප්‍රාණකාරයොත් ඉෂිතගෙයි රමන්ගෙයි ආදරේට කෙලින්න ඇවිත් ඉන්නවා.

6. ඇයි ලස්සන සාරි ඩිසයින් බලන්න

දැන් ඔය ඉන්දියානු සෝප් ඔපෙරා ඕන එහෙක දකින්න පුලුවන් විශේෂම ලක්ෂණයක් තමයි කොයි තරම් වර්ණවත්ද කියන එක. ඒ කියන්නේ ලංකාවේ නැත්නම් හොලිවුඩ් නිෂ්පාදනයක් එක්ක සසඳලා බලනකොට ඇහැට පේන වර්ණ වෙනසක් තියෙනවා. මේක එන්නේ කථාවේ පසුබිමෙන්, ඇඳුම් පැළඳුම් වලින් වගේ හැම දේකින්ම. ඉතින් ඇඳුම් පැළඳුම් ගැන හිතලා බලනකොට අපරාදෙ කියන්න බෑ මේ ආදරයයි එකේ ඉෂිතා ඇතුළු ඔක්කොම බවලත්තු ගෙදරට අඳින්නේ මෙහේ වෙඩින්ග්ස් වලට අඳින් මට්ටමේ සාරි. වෙන එකක් තියා නිදාගන්න යන්නෙත් අර වගේ අපූරු සාරියක් ඇඳලා මාල වළලු ඔක්කොම පැළඳගෙන තමයි. පිරිමි කට්ටියත් වෙනසක් නෑ. ගෙදර ඉන්න වෙලාවකත් ෆුල් යුරෝපියන් කිට් එකෙන්, නැත්තං අඩු ගාණේ වෙස්ට් කෝට් එක පිටින් හරි තමයි ඉන්නේ. රස්නේ නැද්ද මන්දා!

හැබැයි ගෑණු උදවිය ආසයිනේ ඔය ලස්සන ලස්සන ඇඳුම් මෝස්තර එහෙම බලන්න. ඉතින් මේ ඇඳුම් පැළඳුම් වල ඉඳන් තියෙන වර්ණවත් ස්වභාවයත් කෙනෙක්ව මේ ආදරයයි බලන්න පොළඹවනවා කිව්වොත් හරි.

7. ගොසිප් රසේ!

මේ ආදරයයි එක්ක තියෙන ඕපාදූප හුවමාරු ට්‍රෙන්ඩ් එක ගැන මොකද හිතන්නේ? හරි, හරි. ඔන්න අපේ අම්මලා නැන්දලා එහෙම මේ ආදරයයි බලලා ඊලඟ දවසේ පොලේ එළවලු ගේන්න ගියහම කතා කරන්නේ ඉෂිතාගේ මනිපූර් සාරියේ ගාණ කොහොමද කියලා. උදේට මිදුල අතුගාන ගමන් එහා ගෙදර ඩල්සි ඇන්ටි එක්ක කතා කරන්නේ ඉෂිතා ඉස්සර වෙයිද රමන් ඉස්සර වෙයිද හනිමූන් යන්න කියලා. එතකොට හවසට පුංචිගෙන් කෝල් එකක් ආපුහම අම්මා හෝ ගාලා පැමිණිලි කරන්නේ ඉෂිතා එක්ක තරහ මිනිස්සු ඉෂිතාට කරන නපුරුකම්, අරියාදු ගැන කියලා. එහෙම නේද හිතාගෙන ඉන්නේ? හැබැයි මේ ආදරයයි බලන්නෙ නෑ කියලා පොර ටෝක් දෙන අපේ සමහර අයියලාත් සෑහෙන ආසාවෙන් ඔය ඉෂිතායි රමනුයි අන්තිමට හනිමූන් යාගත්තා කියලා කියන මෙමේස්, ඉෂිතා රමන්ට හොරෙන් කොයි කොල්ලාටද බැල්ම දාන්නේ කියලා අහන මෙමේස් එහෙම ෂෙයාර් කරගන්නවා අපි දැකලා තියෙනවා. මේකත් ගොසිප් රසේ නෙවෙයි කියලද කියන්නේ?

8. මේ ඔක්කොමත් එක්ක එන ඇබ්බැහිය

හිතලා බලලා තියෙනවද ඇයි මේ ටෙලි නාට්ටි සතියේ දින පහේම එකම වෙලාවකට විකාශය කරන්නේ කියලා? එකක් තමයි සතියට සැරයක් පෙන්නන්න ගියොත් එක නාට්ටියක ඩිරෙක්ටර් මැරිලා යනකල්ම වෙන නාට්ටියක් කරන්න හම්බුවෙන්නෙ නෑ. ඇයි ඉතින් සති කීයක් කියලා අදින්නද. ඒ නිසා මෙගා ටෙලිනාට්‍ය දිනපතා පෙන්නන්න වෙනවා. අනෙක් ප්‍රධානතම කාරණාව තමයි තමන්ගේ චැනලය එක්ක මිනිස්සු රඳවා ගැනීම. ඒකෙන්නේ චැනල් එකක් හම්බු කරන්නේ. ඉතින් සතියේ දවස් පහ එකම වෙලාවකට සතියක් දෙකක් මේ නාට්ටිය බැලුවනං අනිවා ඕන නැන්දෙක් මාමෙක් මේකට වහ වැටෙනවා, ඇබ්බැහි වෙනවා. ඉන් පස්සෙ පුතේ ගැලවිලි බොරු. ගොඩක් වෙලාවට මේ අයට බඩු මිලටත් වඩා තියෙන ප්‍රශ්නයක් තමයි එක එපිසෝඩ් එකක් මිස් වුනොත් මොකද වෙන්නේ කියන එක. ඉතින් ඔබත් මේ තත්වයට ඇවිල්ල නං ප්‍රවේසම් වෙන්න. කොයි තරම් ආස කරන දෙයක් වුනත් ඇබ්බැහියක් වුනාට පස්සේ ඒක නරකක් මිසක් හොඳක් නෙවෙයි.

NO COMMENTS

Leave a Reply