කොළඹ ජාතික දන්තායතනයේ
දන්ත ශල්‍ය වෛද්‍ය
එල්. එච්. ජේ. ටී. අබේරත්න

සැමවිට සිනාසී සිටින්නට ඇත්නම් එය කොපමණ සතුටක්ද? නමුත් හැමෝටමත් එය කළ හැකිද? එය එසේ වන්නේ ඇයි? විවිධාකාර වූ දන්ත ගැටලු අප බොහෝ දෙනෙකුට පැවතීම ඊට ප්‍රධාන හේතුවකි. දත් කහපාට වීමද එවැනිය.

දත් කහ පාට වීම

දත් කහපාට වීමට හේතු කිහිපයක්ම හඳුනාගත හැක.

තුනී එනැමලය

දතක උඩින්ම ඇත්තේ එනැමලයයි. එනැමලයට යටින් ඇති කොටස හඳුන්වනුයේ දන්තිනය ලෙසය. තවද එනැමලය සුදු පාටින් යුක්ත වන අතර දන්තිනය කහපාටින් යුතුය. තවද සමහර අයගේ දතේ එනැමලය ස්වභාවයෙන්ම තුනීය. පාරදෘශ්‍යභාවය වඩාත් වැඩිය. (විනිවිද පෙනෙන සුළු බව) ඒ අනුව එවැනි අයගේ දතේ දන්තිනය එනැමලය තුළින් දිස්වීමක් සිදුවෙයි. එවැනි අවස්ථාවලදී දත් කහ පැහැයෙන් දිස්වීමේ හැකියාවක් ඇත.

දන්ත ෆ්ලෝරෝසියාව 

පානය කරන ජලයේ ෆ්ලෝරයිඩ් අධික වීම දන්ත ෆ්ලෝරෝසියාවට හේතුවකි. විශේෂයෙන් ලංකාවේ වියලි කලාපයේ මේ තත්ත්වය මනාව හඳුනාගත හැක. විශේෂයෙන්ම දරුවකුගේ ස්ථිර දත් මාස හයේ සිට අවුරුදු හයක් දක්වා තරම් කාලය තුළ වර්ධනය වීම බාහිරට නොපෙනුනද මේ කාලයේ ෆ්ලෝරයිඩ් අධික ජලය පානය මඟින් ද දරුවකුට මෙවැනි තත්ත්වයක් හටගැනීමේ හැකියාවක් පවතී. නමුත් අප පටලවා නොගෙන අවබෝධ කරගත යුතු කාරණය නම් දන්තාලේපවල ඇති ෆ්ලෝරයිඩ් මඟින් දන්ත ෆ්ලෝරෝසියාව ඇති නොවන බවය. දන්ත ෆ්ලෝරෝසියාව ඇති විට දතේ පැහැය වෙනස් වෙයි. සුදු පාට පැල්ලම් දැකගත හැක. තවත් කලක් ගත වූ පසු දත් කහ, දුඹුරු පැහැයක් ගත හැක. මෙමඟින් දතේ ශක්තිමත්භාවය නැංවුණත් එහි කැඩෙනසුළු භාවයද ඒ සමඟම වඩාත් වැඩිවෙයි.

නිසි ලෙස දත් නොමැදීම

මෙයත් දත් කහ පැහැ වීමට හේතුවකි. එනම් දත්වල මැලියම් බැඳීම දත් කහ පැහැ වීමට බලපායි. මීට අමතරව වැරදි ජීවන පුරුදු, එනම් දුම් පානය, බුලත්විට සැපීම ආදිය නිසාද දත් කහ පැහැ විය හැකිය.

පුද්ගලයකුගේ සම්පූර්ණ දත් පෙළම කහ පැහැ වීමේ ගැටලුවට අමතරව තනි දතක් පමණක් කහ පැහැයෙන් දිස්වීම යම් අවස්ථාවලදී දැකගත හැකිය. ඊට හේතුව කුමක්ද….?

යම් අවස්ථාවක පුද්ගලයකුගේ දතට අනපේක්ෂිත හදිසි අනතුරක් සිදුවීම නිසා (එනම් වැටීමක්, තද පහරක් වැදීමක් ආදී) දත ක්ෂණික සෙලවීමකට ලක්විය හැක. නමුත් ඒ අවස්ථාවේදී දත කැඩීමකට ලක් නොවන අතර බාහිරින් කිසිදු වෙනසක්ද නොපෙන්වයි. නමුත් කාලයක් ගතවන විට දතේ පැහැයේ වෙනස්වීමක් පෙන්නුම් කළ හැක. එහි අරුත නම් එම දත අජීවී තත්ත්වයට පත්වී ඇති බවය. දතට සම්බන්ධ රුධිර සැපයුම, ස්නායු සැපයුම නතරවීමෙන් මෙසේ දතක් අජීවී තත්ත්වයට පත්වෙයි. එසේ වුවද මේ ගැටලුවට අදාළ ප්‍රතිකාර පවතී.

මීට අමතරව විවිධ ඖෂධ වර්ග භාවිතය නිසාද (ටෙට්‍රසයික්ලින් වැනි) දත්වල තද අව පැහැයක් ගත හැක. තවද යම් අවස්ථාවකදී ගර්භණී සමයේ කාන්තාවක් මෙවැනි ඖෂධ භාවිතා කර තිබුණේ නම් දරුවාගේ දත් වලටද එහි බලපෑමක් තිබිය හැක.

අප මෙහිදී අවබෝධ කරගත යුතු අනෙක් කරුණ නම් කිරි සුදු දත් දෙපළක් සියලු පුද්ගලයින් හට හැමවිට නොපිහිටන බවය. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වූද, එකිනෙකාට ආවේණික වූද දෙයකි. නමුත් වඩා වැදගත් වනුයේ අපගේ දත් හොඳින් මැද පිරිසුදුව හා නීරෝගීව තබා ගැනීමය.
සමුද්‍රිකා වර්ණකුල

සැකසීම:-අනුර නාගොඩවිතාන

SHARE
Previous articleUp Town Liberty Plaza
Next articleUdari

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here