යදම් නොපෙනේ බැලූ බැල්මට
පදම් නූනා තැනූ මාලිග
වදම් පුතණුත් නොයෙක් වාරෙට
උදම් වූවා සෙනග සිව්රඟ

අවැසි වූවත් පිහාඹින්නට
සැහැසි වූවා තටු සිඳින්නට
වෙහෙසි තිස් පෑ නොනිදි වාරෙට
මෙහෙසි වෙයි මා අඳුරු යහනට

වැදූ මා පියො දෙදෙන හින්දා
හැදූ පෙම් සිත බිඳල දැම්මා
සිඳූ ප්‍රේමයෙ කඳුළු හංගා
සඳූ අහසින් බිමට පැන්නා

නොයන් එළියට පිළට කිසි විට
උයන් තුන්වේලටම බත් කඳ
වහන් කරගෙන කඳුළු නෙත් අග
සවන් දුන්නා නුඹට හැම සඳ

සළුව ඇඟලා බොලට වෙන්නට
රළුව නුඹෙ අත රැගෙන යන්නට
කළුව සබයට රටට පෙනුමට
සුළුව ගියවද මාව එපමණ

ගැහැණු හිතකට නැගෙන ආසා
මලක සමනැලියකට කීවා
නිවසෙ හැම කවුළුවක් පාසා
අහසෙ තනිවූ කවිය ලීවා

– තරුෂි නවංජනා ලියනාච්චි

SHARE
Previous articleUp Town Liberty Plaza
Next articleGFlock Fashion

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here